ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ශ්‍රද්ධා යනු සංස්කෘත භාෂා වෙන්ද සද්ධා පාලි (මගධ) භාෂාවෙන්ද සැදැහැ සිංහල (හෙළ) බසින්ද කියවෙනු අපි ඉගෙන ගෙන ඇත්තෙමු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි යනුවෙන් භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා කරන විට ගිහි අප ආමන්ත්‍රණය කරති. බුද්ධ ධර්මය ගැඹුරින් අවබෝධ කර ගන්නා තාක් ශ්‍රද්ධා හා භක්ති අපි එකම අර්ථයෙන් ගනිමු. නමුත් එහි සියුම් වෙනස්කම් ඇත. ඒ බැව්අපි නොදනිමු. අපට කුඩා කාලයේ සිට වැටහී ගියේ දැනුනේ ශ්‍රද්ධාව කියන විට සන්සුන් විනීත ඉරියව් ඇති වචනයෙන් සිතිවිල්ලෙන් හැසිරීමෙන් සංවර ඉඳුරන් ඇති කලබල නොවන තරහින් ද්වේශයෙන් වෛරයෙන් ක්‍රියා නොකරන නිවුණු හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක්ය යන ආකල්පයයි. අප බෞද්ධයන් හැටියට බුදු පියාණන්වහන්සේ ගැන ඇති නොසෙල් වෙන විශ්වාසයයි. මෛත්‍රී කරුණා සහගත හැසිරීමෙන් යුක්ත පුද්ගලයා හිත හොඳ කෙනෙකි. කුල මල, ගෝත්‍ර ආගම් ජාති පළාත් රාෂ්ට්‍ර භේද ස්ත්‍රී පුරුෂ උස්පහත් හැඟීම් නැති පරිසරයට ලෝකයට ලෙන්ගතු මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ආදරය ඇති හික්මුණු කෙනෙකි. හිත දියුණුකර ගන්න කැමති ආධ්‍යාත්මික භාවය ප්‍රඥාවන්ත භාවය ඇත්තෙකි. එවැන්නකුගෙන් ලෝකයට සෙතක් සුවයක්ම සැලසෙයි.

අංගුත්තර නිකායේ, ෂප්තක නිපාතයේ ධන වර්ගයේ පැමිණෙන සංඛිත්තධන සූත්‍රයට අනුව නම් ආර්ය ධන හතක් තිබේ. සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා ධනය යනුවෙනි.

යම් ස්ත්‍රියකට වේවා, පුරුෂයෙකුට හෝ වේවා මේ ආර්ය ධන ඇත්නම් හෙතෙම දිළිඳු වන්නේ නැතැයි ද එම පුද්ගලයාගේ ජීවිතය හිස් නොවන්නේ යැයි ද එම සූත්‍රයේ සඳහන් කර තිබේ. බුදුන්, දහම්, සඟුන් යනු විසින් කියැවෙන තිසරණය හා කර්ම කර්මඵල පැහැදීමෙන් යුතුව පිළිගැනීම ශ්‍රද්ධාවයි. ඒ පිළිගැනීම ඇති උතුමා ළඟ ශ්‍රද්ධා ධනය තිබේ.

-ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජවිද්‍යා  හා මානවවිද්‍යා අංශය,
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය