අතිගරු තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් “සද්ධා ජාතෝ උපසංකමති” — “ආර්ය මාර්ගයට ඇතුළත් වන්නේ ශ්‍රද්ධාව පදනම් කර ගෙනය.”

මේ අනුව බුදුරදුන් දෙසූ ආර්ය මාර්ගයට හෙවත් දුක් කෙළවර කරන මඟට ප්‍ර්‍රවේශ ද්වාරය වන්නේ ශ්‍රද්ධාවයි.

ශ්‍රද්ධාව” නැතහොත් “සද්ධා” යන්න මෙසේ විග්‍රහ කළ හැකිය. “සද්” යන්නෙහි යහපත් හෙවත් හොඳ යන ඇරත ගැබ්ව ඇති අතර “ධා” යනු ධාරණය කර ගැනීම නැතහොත් දැරීමයි. යහපත්ව මඟ පිළිගැනීම හෙවත් යහපත් කටයුතුවල යෙදීම මේ අනුව “සද්ධා” වදනින් විග්‍රහ වන්නේ ය.

බුදු දහමේ උගන්වන්නේ “සද්ධා මූලිකා සබ්බේපි කුසලා ධම්මා.” — “මේ සියලුම කුසලයන්ට මූලික වන්නේ ශ්‍රද්ධාවයි.” යනුවෙනි. මෙහිදීි “කුසල” යනුවෙන් විස්තර වන්නේ හොඳ වැඩ හෙවත් තමාටත් අනුන්ටත් වැඩසලසන යහපත් ක්‍රියා ය.

අගක් මුලක් නැති, පදනමක් නැතිව, කවරෙකු විසින් හෝ අන්ධ විශ්වාසයෙන් පිළිගන්නා, “අමූලිකා සද්ධාව“සහ හේතුඵල දර්ශනය මූලික කොට හේතු යුක්ති මූලික කොට, නුවණින් විමසා බලා තීරණ ගෙන සිදුකරන, “ආකාරවතී සද්ධා” යනුවෙන් ශ්‍රද්ධාව දෙආකාරයකි. “ආකාරවතී” ශ්‍රද්ධාවෙහි පිහිටන්නා නුවණින් විමසා බලා කුසල් – අකුසල්, හොඳ – නරක, යුතු – අයුතු, ආදී වශයෙන් විනිශ්චය කර ගන්නේය.

නුවණ මුහුකුරා නොගිය අත්දැකීම් සහ දැනුමින් අවමවූ කුඩා දරුවෙකු ගේ මෙන්ම නුවණින් මුහුකුරා ගිය අත්දැකීම් බහුල, අති විශාල දැනුම් සම්භාරයක් ඇති වැඩිහිටියෙකුගේ ද “ශ්‍රද්ධාව” ඒ ඒ ප්‍රමාණයෙන් පිහිටයි. දහම් මඟට බැස නොගත් අයෙකුට වුවද මුලදී ආමිසය මුල්කර ගත් ආර්ය මාර්යට ප්‍රවිෂ්ටයක් බුදරජාණන් වහන්සේ අනුමත කළහ.

යමෙකුගේ ශ්‍රද්ධාව ප්‍රඥාවට සාපේක්ෂව දියුණු කර ගැනීම අවහ්‍ය වන්නේ ය. එයින් වීර්යය උපදින්නේය. තමාට ඒකාන්තයෙන්ම සම්බෝධියට පත්වන බවට සහතිකයක් එමඟින් ඇති කර ගත හැකි ය. ශ්‍රද්ධා මාර්ගයේ මෙබඳු ප්‍රවණතාවන් මත මෛත්‍රීය වැඩි වන්නේ ය. කරුණාව වැඩිවන්නේ ය. මුදිතාව වැඩිවන්නේ ය. උපේක්ඛාව පිහිටන්නේ ය. මෙසේ වැඩි දියුණූවූ භාවිත මනසකින් යුක්ත වන්නා ක්‍රෝධයෙන්. ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීම් වලින් මිදෙන්නේ ය.

අන් සැමදෙනම තමා උපමා කොට සිතන්නේ ය. විශ්ව මෛත්‍රියට දොර ඇරෙන්නේ මේ න්‍යායයෙනි.

මෙය ආගමික, ජාතික, වාර්ගික සහ භාෂාමය සංහිඳියාවේ මූලික අඩිතාලම ඇති කර ගැනීමේ ක්‍රමවේදය නොවේ ද?

අතිගරු තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි

මහානාහිමි,
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය